Tuesday, January 22, 2013

ඡත්ත මානවක ගාථා

බුදුන් දවස ඉන්දියාවේ හිටිය ඡත්ත කියන තරුණයා දිසාපාමොක් ආචාරීන් සමීපයේ ශිල්ප හදාරලා අවසන් කරලා ගුරු පඬුරු අරන් එන්න තමන්ගේ නිවසට පිටත් වුණා. රන් කහවණු ගුරු පඬුරු විදිහට අරගත්තු ඡත්ත ඒවා ගුරුවරයාට භාර දෙන්න නැවතත් ගුරු ගෙදර බලා පිටත්වුණා.

ඉතින් අළුයම් කාලේ ලෝකය වෙත මහා කරුණාවෙන් බලලා තමාගේ පිහිටක් අවශ්‍ය වෙන පුද්ගලයන්ට පිහිටක් වීම බුදු රජාණන් වහන්සේගේ සිරිතක් වෙලා තිබ්බා. ඒ දවසේ බුදු රජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට හසුවුණේ මේ ඡත්ත කියන මානවකයාව.

මේ විදිහට ගුරුවරයාට ගුරු පඬුරු විදිහට රන් කහවණු අරන් යන ඡත්තව අතරමගදී හොරු කණ්ඩායමක් විසින් රන් කහවුණු පැහැර ගැනීමේ චේතනාවෙන් මරාදාන බව බුදුරජාණන් වහන්සේට පෙනුණා. ඡත්තට දිව්‍ය ලෝකේ යන්න පුළුවන් වෙන පිනක් සිදු කරලා දෙන කැමැත්තෙන් බුදුරජාණන් වහන්සේ ඡත්ත ගුරු ගෙදරට යන මාර්ගයේ අතරමැද වැඩ සිටියා.

ඡත්ත බුදු රජාණන් වහන්සේ දැකලා වැඳලා කරුණු කතා බස් කරද්දී බුදු රජාණන් වහන්සේ ඡත්තට තුණුරුවනේ ගුණ කියවෙන ගාථාවන් තුනක් කියාදුන්නා.

මේ තියෙන්නේ ඒ ගාථාවන් තුන සරල සිංහල තේරුමත් එක්ක.
යෝ වදතං පවරෝ මනුජේසු
සක්‍යමුනී භගවා කත කිච්චෝ
පාරගතෝ බලවිරියසමංගි
තං සුගතං සරණත්ථමුපේමි
කතා කරන මිනිසුන් අතර යම් ශ්‍රේෂ්ඨයෙක් වෙයිද, ඒ ජීවිතයේ අවබෝධ කරගත යුතු සියල්ල අවබෝධ කරගත් ශාක්‍ය මුනීන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේය. අනන්ත අප්‍රමාණ වීර්යයකින්, ධෛර්යයකින් සංසාරයෙන් එතෙරට වැඩි ඒ සුගතයන් වහන්සේව සාදරයෙන් සරණ යමි.

රාග විරාග මනේජමසෝකං
ධම්ම මසංඛත මප්පටිකූලං
මධුර මිමං පගුණං සුවිභත්තං
ධම්මමිමං සරණත්ථමුපේමි
රාගය නැති කරන්නා වූ ශෝක රහිත වූ තෘෂ්ණාව රහිත වූ, පිළිකුල් රහිත වූ අසංකත වූ නිර්වාණ ධර්මය මනා කොට ප්‍රගුණ කළහොත් අනන්ත සුන්දරත්වයක් සාක්ෂාත් කරන ඒ ධර්මය සාදරයෙන් සරණ යමි

යත්ථ ච දින්න මහප්ඵල මාහු
චතුසු සුචීසු පුරිස යුගේසු
අට්ථච පුග්ගල ධම්මදසාසේ
සංඝමිමං සරණත්ථමුපේමි
යම් කෙනෙකුට පිදිමෙන් මහත් ප්‍රතිඵල ලැබේද, ඒ පාරිශුද්ධ වූ මාර්ග ඵල ලාභී උත්තමයන් වහන්සේලා යුගල වශයෙන් වූ හතර දෙනාටයි. උන්වහන්සේලා පුද්ගලයන් වශයෙන් අට දෙනෙක් වේ. ඒ සංඝයා වහන්සේලා සාදරයෙන් සරණ යමි.
එම යුගල හතර නම්.
සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් නම් වෙයි. එම මාර්ගවල ගමන් ගන්නා  අයත් පලයට පත්වූ අයත් සමග පුද්ගලයන් අටදෙනෙක් බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වේ..
පරම පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ලිපියක් ඇසුරෙන් සකස් කරන ලදී.......
සාදු  සාදු  සාදු..................................